HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව තැබූ විස්මිත වාර්තා!

ක්‍රිකට් ලෝලීන් සෑම දෙනකුගේම අවධානය යොමුව ඇත්තේ දැන් පැවැත්වෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙතයි. 

1996 දී පාකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පාකිස්ථාන අගමැති 
බෙනාසීර් භූතෝ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංගට 
ජය සංකේතය පිරිනැමූ මොහොත.

 ටෙස්ට් වරම් ලත් රටක් වුවත් ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් වීම සඳහා සිම්බාබ්වේහි පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කර සුදුසුකම් ලැබීමට සිදුවුණා. 

මෙවර එය එසේ වුවද ඒ 1996 වර්ෂයේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලට ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතුකර ගැනීමට සමත් වුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉතිහාසය 

ශ්‍රී ලංකා ක්‍රික‍ට් පිල පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරිමට අවස්ථාව උදාකර ගත්තේ 1975 වර්ෂයේදීයි. එම තරගාවලියේදී පළමු වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවුණා. ඉන් පසුව පිළිවෙළින් 1979, 1983, 1987 සහ 1992 යන වන වසරවල පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වුවත්, ඒ වතාවලත් ශ්‍රී ලංකා පිලට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවුණා. 

එතෙක් ලෝක කුසලාන තරගාවලි පහක් තුළදී එක්දින තරග 24ක් ක්‍රීඩා කර තිබූ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 4ක් පමණයි. 

ශ්‍රී ලංකාවට නොමිලේ ප්‍රසාද ලකුණු ලැබෙයි! 

1996 වර්ෂයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ එවර පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය යන රටවල පැවත්වීමටයි. ශ්‍රී ලංකාව තුළ පැවති යුදමය තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මෙරට පැවත්වීමට සැලසුම් කර තිබු තරග දෙකට ම නොපැමිණිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරග දෙකේ ජයග්‍රහණ වෙනුවෙන් ලබා දෙන ප්‍රසාද ලකුණු ප්‍රදානය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා. ඒ නිසා තරඟ නොපවත්වාම අපට ඉදිරියට යාමට හැකි වුණා. 

මුල්ම ලෝක ක්‍රිකට් තරඟාවලිය දිනූ මොහොත. 
අර්ජුන (ඉදිරියෙන්) අරවින්ද (පසුපසින්)

1996 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය පැවැත් වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් අතරයි. එය පැවැත් වුණේ කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදියි. 

ඒ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කට ලකුණු 251ක් රැස් කළ අතර ඉන්දීය කණ්ඩායමට රැස් කිරීමට හැකි වුයේ කඩුලු 8කට ලකුණු 120ක් පමණි. ඉන්දීය ඉනිමේ 35 වන පන්දු වාරයේදී ක්‍රීඩාංගණයේ රැස්ව සිටි ප්‍රේක්ෂකයින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීම නිසා හදිසියේ ම තරගය අත්හිටුවීමට තරග තීරක ක්ලයිව් ලොයිඩ්ට සිදුවුණා. එදා නැවත තරගය ආරම්භ කිරීමට නොහැකිවූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය ප්‍රදානය කිරීමට තරග තීරක ක්ලයිව් ලොයිඩ් තීරණය කළා. 

විස්මිත ඓතිහාසික ජයග්‍රහණයක්! 

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හැකි වේයැයි කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගය දක්වා පැමිණීම බොහෝ දෙනාගේ විමතියට පත්වූ කරුණක් වුණා. 

පාකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහ තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 07කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. 

ඒ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කිරීමට සමත් වුණා. එදා පැවති අවසන් තරඟයේ වීරයා වූයේ අරවින්ද ද සිල්වායි. සමස්ත තරඟාවලියේ වීරයා වූයේ සනත් ජයසුරියයි. 

අඳුර නිසා ලෝක කුසලානය අහිමි වෙයි! 

ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී ලෝක කුසලාන අනු ශුරයින් වී තියෙනවා. 2007 සහ 2011 වර්ෂවලදී ශ්‍රී ලංකාව අනු ශුරයින් බවට පත්වූ අතර 2003 වසරේ දී පැවති ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් වටය දක්වා පැමිණීමට සමත් වුණා. 

2007 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගය පැවැත් වුණේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතරයි. එම තරගයේ ආරම්භයේ සිට ම වර්ෂාවෙන් බාධා එල්ල වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 38 තුළදී කඩුලු 04ක් දැවී ලකුණු 281ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පෙර නැවත වර්ෂාව පතිත වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 36 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 269ක් රැස් කිරීමට සිදුවූ අතර එහිදී ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 215ක් පමණි. 

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු වාර කිහිපයේදී අඳුරු කාලගුණය හේතුවෙන් පිතිකරුවන්ට පන්දුව නොපෙනෙන බවක් දිස්වූ අතර එහිදී තරගය නතර නොකර පවත්වාගෙන යාමට ස්ට්වි බක්නර් විනිසුරුවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ද එල්ල වුණා. 

ඒ අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 72කදී ශතකයක් රැස් කිරීමට සමත් වුණා. එය ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම ශතකය ලෙස වාර්තා අතරට එක්වුණා. ඒ තරගයේදී ගිල්ක්‍රිස්ට් පන්දු 104 කදී හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් 8ක් සමගින් ලකුණු 149ක් රැස් කළා. 

ඒ තරගයේදී ගිල්ක්‍රිස්ට් විසින් සිය අත් ආවරණය තුළ ස්කොෂ් පන්දුවක් රඳවා ගෙන සිටි බවට පසුව හෙළිවූ අතර එම සිදුවීම ගැන පසුව කරුණු සඳහන් කරමින් ඔහු කියා තිබුණේ තම පිතිකරණ පුහුණුකරුගේ උපදෙස් මත එය සිදුකළ බවයි. 

ලසිත් මාලිංග පිට පිට කඩුලු 4ක් දවා ගනියි! 

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී කඩුලු ත්‍රිත්වය බැගින් දවා ගනු ලැබූ පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගයි. ඔහු ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවස්ථා දෙකකදී කඩුලු ත්‍රිත්වය බැගින් දවා ගැනීමට සමත්කම් දක්වා තියෙනවා. 

2007 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේදී දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී ලසිත් මාලිංග පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. එය එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ දී පන්දු යවන්නකු අඛණ්ඩව පන්දු 4කදී කඩුලු හතරක් දවා ගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වුණා. 

මේ දක්වා ලෝක කුසලාන ඉතිහාසයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පන්දු යවන්නා ලෙසට වාර්තා පොත් අතර සිය නම තබා ගැනීමට ලසිත් මාලිංග සමත්වී තියෙනවා. ඔහු 2007 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිවත් 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යාවට එරෙහිවත් කඩුලු ත්‍රිත්වය බැගින් දවා ගැනීමට සමත් වුණා. 

පළමු පන්දු තුනේදී දවා ගත් කඩුලු ත්‍රිත්වය! 

ලෝක කුසලාන තරගයකදී මෙන්ම එක්දින තරග ඉතිහාසයේ පළමු පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ චමින්ද වාස්ය. ඔහු 2003 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එම දස්කම දැක්වීමට සමත් වුණා. එදා වාස් දවා ගත්තේ හනාන් සර්කාර්, මොහොමඩ් අෂ්රාෆුල් සහ එශානුල් හක් යන බංග්ලාදේශ පිතිකරුවන්ය. ඒ තරගයේදී චමින්ද වාස් ලකුණු 25කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා. 

කුමාර් සංගක්කාර තැබූ අසම සම වාර්තාව! 

ලෝක පූජිත පිතිකරුවකු ලෙස නම් දරා සිටින කුමාර් සංගක්කාර 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අඛණ්ඩව තරග හතරකදී ශතක 4ක් රැස් කරමින් වාර්තාවක් තැබීමට සමත් වුණා. සංගක්කාර එම තරගාවලියේදී ශතක රැස් කළේ බංග්ලාදේශය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තයට එරෙහිවයි. 

එක්දින තරගවලදී මෙන්ම ලෝක කුසලාන තරග ඉතිහාසයේදී පිතිකරුවකු අඛණ්ඩව රැස්කරන ලද වැඩිම ශතක සංඛ්‍යාවේ හිමිකරු ‍‍වන්නේ ද කුමාර් සංගක්කාරයි. 

තරංග සහ ඩිල්ශාන්ගේ අමතක නොවන සබඳතා! 

2011 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගලය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන තිලකරත්න ඩිල්ශාන් සහ උපුල් තරංග ලකුණු 282ක් කිරීමට සමත් වුණා. ඔවුන් දැක් ඒ දක්ෂතාව ලෝක කුසලාන තරග ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් තබන ලද ඉහළම ලකුණු සබඳතාව ලෙස වාර්තා පොත් අතරට එක්වුණා. 

එමෙන්ම එම තරගාවලියේදී උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ශාන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ද නොබිඳුණු ලකුණු 231ක සම්බන්ධතාවක් ද පවත්වනු ලැබුවා. 

Post a Comment

1 Comments

  1. හැමදාම වාගේම වටිනා කියන තොරතුරු ගොන්නක් රැගෙන!~

    ReplyDelete